
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංවාදයට ලක්වූ සිදුවීමක් වූයේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක පවුලේ අය සමග අවුරුදු සැමරීම ප්‍රසිද්ධ නොකිරීමයි. දශකයක පමණ කාලයක් රාජ්‍ය නායකයාවී සිටි රාජපක්ෂ පවුලේ අය මෙම අවස්ථාව වඩාත් විචිත්‍ර ලෙස ප්‍රසිද්ධියක් ලබමින් වියදම් දරා සිදුකර තිබූ අතර ඊට හුරුවූ ඇතැමුන් දැන් ප්‍රශ්න කරන්නේ එවැන්නක් නොකරන්නේ ඇයිද කියාය.
'සිස්ටම් චේන්ජ්' වෙනුවෙන් කතිරය ගැසූ ජනතාව 'ඒ සිස්ටම් එකම රික්වෙස්ට්' කිරීම ගැටලුවක් බව මෙය විවේචනය කළ අයගේ මතය විය. රජයේ මතය වූයේ අනවශ්‍ය වියදම් දැරීමට හා පුද්ගලිකත්වය රැකීමට කැමති ජනපතිවරයා මෙවැනි කටයුතු වලින් ඈත්වන බවයි.
වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති ජාතියක ප්‍රධාන සංස්කෘතික උත්සවයක් සැමරීමට රටේ රාජ්‍ය නායකයා “ප්‍රසිද්ධියේ පස්සා ගැහීම” ඉතා බැරෑරුම්ව බැලිය යුතු බව මේ අතරවාරයේ ජවිපෙ හිටපු සාමාජිකයෙකු හා රාජපක්ෂ පිලේ හිටපු ප්‍රධාන සාමාජිකයෙකු වූ විමල් වීරවංශ මහතා පවසයි.
ඒ බව සඳහන් කරමින් විමල් වීරවංශ නිකුත් කළ ලිපිය මෙසේය.
ගරුතර ස්වාමීන් වහන්ස,
අන්‍යාගමික පූජකතුමනි,
මවුවරුනි, පියවරුනි,
සහෝදරයා, සහෝදරිය,
සිංහල හා දමිල අලුත් අවුරුද්ද සැමරීම රාජ්‍ය මට්ටමෙන් සිදු නොවූවද රට පුරා බහුතරයක් පොදු මහජනතාව ආර්ථික අපහසුතා තිබියදී පවා උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුදු සැමරීමට කටයුතු කළහ.
මා මෙවර සමාජ මාධ්‍යවල නිරීක්ෂණය කළ එක් දෙයක් වූයේ අලුත් අවුරුද්ද සැමරීමේ අර්ථ විරහිත භාවය පිළිබඳ කතිකාවක් සමාජ මාධ්‍ය තුළට හදිසියේ පැමිණ තිබීමයි. සමහරු මුලු ලොවෙන් මේ උත්සවය සමරන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බවද මෙය ඒ නිසා අරුම පුදුම අවුරුදු සැමරීමක් බවද කියා සිටියහ.(මුසාවකි.ආසියාවේ බොහෝ ජාතීන් මාර්තු හා මැයි අතර තමන්ට අනන්‍ය අලුත් අවුරුද්දක් සමරති.) සමහරු සිංහල නක්ෂස්ත්‍රය තුළ ඇති දර්ශණයේ දුබලතාවය ගැනද තවත් සමහරු අතීත කාමයේ ඇලී ගැලී සිටිමින් වර්තමානයට නොගැලපෙන සිරිත් විරිත් ඉදිරියට ගෙනයාමක් ලෙසද අලුත් අවුරුද්ද අර්ථකතනය කර තිබුනි. අප කලිනුත් කියා ඇති පරිදි වැදගත් වන්නේ අලුත් අවුරුද්ද විවේචනය කරන කිසිදු ගැඹුරු විමංසනයකින් තොර තුන්වන පන්තියේ කුලී මත වාහකයන් නොව සිංහල අලුත් අවුරුද්ද වැනි යම් ජාතියකට අනන්‍ය සංස්ක්කෘතික උත්සව සැබෑ ගැටළුවක් වී ඇත්තේ කාටද යන්න ගැඹුරින් විමසීමයි.
ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම් අමෙරිකානු ලිබරල් ආර්ථික චින්තකයා ලෝක අවධානය දිනූ ඔහුගේ “End of History and the last man” කෘතියේ පැවසූ පරිදි ලෝක මනුෂ්‍ය සංස්කෘතික විකාශනයේ අවසානය නිදහස් වෙළඳපොල සමාජ ආර්ථික ක්‍රමයයි. එය (අතිශය සාධාරණම) මනුෂ්‍ය සංහතියේ අවසාන සමාජ ආර්ථික නවාතැන් පොළයි.(ෆුකුයාමා පසුව USAID සහ සම්බන්ධිත ආයතයක අධ්‍යක්ෂක ධූරයකින් පිදුම් ලැබීය.) මේ අනුව විවිධ ජාතීන්ට අනන්‍ය සංස්කෘතීන් දියවී ලිබරල් වෙලඳ සංස්කෘතියක් හා එකම පාරිභෝජන සමාජයක් ඇතිවීම මේ ප්‍රවාදයට අනුව අනිවාර්‍ය ප්‍රතිඵලයකි.ඒ ප්‍රතිඵලය ඇතිවීමට නම් ඒ තත්වයට බාධාකරන සංස්කෘතික බාධක ඉවත් කළ යුතුය. හැම්බර්ගරය, හොට්ඩෝගය වැළඳ ගත යුතු සමස්ත ලෝක සංස්කෘතියකට කැකුළු කිරිබත, කැවුම, කොකිස, හැළපය හෝ කුරක්කන් රොටිය ගැලපෙන්නේ නැත. අලුත් අවුරුද්ද “අමු හරමානිස්” වී දෙසැම්බර් තිස් එක “හෙන මොඩර්න්” වන්නේ මේ නිසාය. අලුත් අවුරුද්දේ නක්ෂස්ත්‍රමය හෝ තාරකා විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක නිස්සාරත්වය හොයන සමහරුන්ට දෙසැම්බර් හා ජනවාරි අලුත් අවුරුද්දේ ප්‍රභවය ග්‍රීක මිත්‍යා විද්‍යාවට සුසම්බන්ධ බව “ඔළුවට පහරක් ගැසූවද” මතක් නොවන්නේ “හෑලි නොලියවෙන්නේ” ඒ නිසාය.දෙසැම්බර් තිස් එක ලෝක ලිබරල් වෙළඳපොලට හා බටහිර සංස්කෘතියට ප්‍රධාන උත්සවයක් වන නිසා වෙනත් සංස්කෘති වල අලුත් අවුරුදු මොවුන්ට “නයාට අඳුකොල” වන්නේ ඒ නිසාය.
මේ තත්වය තේරුම් ගන්නා ජාතික රාජ්‍යයන් වල විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නායකයෝ සිය රටවල් වලට අනන්‍ය සංස්කෘතික උත්සව ප්‍රවර්ධනය කරති. අදිසි ලෝක අධිරාජ්‍යයේ බලපෑමට නතු නොවී සිය ජනයා එකමිටට තබා ගැනීමට සිය සංස්කෘතික මූලයන් ශක්තිමත් කරති.
වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති ජාතියක ප්‍රධාන සංස්කෘතික උත්සවයක් සැමරීමට රටේ රාජ්‍ය නායකයා “ප්‍රසිද්ධියේ පස්සා ගැහීම” දෙස අපි ඉතා බැරෑරුම්ව බැලිය යුත්තේ මේ නිසාය.
විමල් වීරවංශ
නායක – ජාතික නිදහස් පෙරමුණ
2025.04.17
Comments
Post a Comment
Your comment will be visible after approval